හොර මුදල් නෝට්ටු හොයාගන්න ක්‍රමය


හොර මුදල් නෝට්ටු හොයාගන්න ක්‍රමය



මුදල් නෝට්ටු හඳුනා ගැනී‍ෙම්දී පරීක්ෂාවෙන් බැලිය යුතු ආරක්ෂණ සලකුණු කෙරෙහි අවධානය යොමු කරන්නැයි ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධිකාරි පී. ඩී. ආර්. දයානන්ද මහතා ප්‍රකාශ කරයි.
ආරක්ෂණ නූල, දිය සලකුණ, විනිවිද පෙනෙන සලකුණු, උස් වූ මුද්‍රිත සහ කඩදාසියේ රළු බව, සැඟවුණු සලකුණ, ක්ෂුද්‍ර අක්ෂර, වැර ගැන් වූ කොන් එම සලකුණු බව ද දයානන්ද මහතා කියා සිටියේය.
අපි එම සලකුණු ගැන අවධානය යොමු කරමු.
මුදල් නෝට්ටු හඳුනා ගනිමු. මෙම ආරක්ෂණ සලකුණු කෙරෙහි අවධානය යොමු කරන්න.
1. ආරක්ෂණ නූල
(අ) රුපියල් 500, 1000 සහ 2000 නෝට්ටුවල රිදී පැහැති කඩඉරක් ආකාරයෙන් නෝට්ටුවටම අන්තර්ගත වන සේ ආරක්ෂණ නූල යොදා ඇති අතර නෝට්ටුව ආලෝකයට හොඳින් නිරාවරණය කොට ආරක්ෂණ නූල දෙස බැලූවිට එය අඛණ්ඩ සිරස් රේඛාවක් සේ පෙනේ. මෙම නූල ‘ස්ටාර් ක්‍රෝමි’ නමින් හඳුන්වන අතර 2006 වර්ෂයෙන් පසුව මුද්‍රිත නෝට්ටුවල අන්තර්ගත වේ. මෙය රුපියල් 500 නෝට්ටුවේ මිමී 3 ක් හා රුපියල් 1000 නෝට්ටුවේ මිමී 4 ක් පළලින් යුක්ත වන අතර වෙනස් වන වර්ණ වලින් යුක්තය. නෝට්ටුව ඉහළ පහළ කරමින් ආරක්ෂණ නූල දෙස බැලූ විට වරෙක රතු පාටින් ද, වරෙක කොළ පාටින් ද වර්ණය වෙනස් වෙමින් පෙනේ.
(ආ) 2002 – 2005 දක්වා වර්ෂවල නිකුත් කරන ලද රුපියල් 500 නෝට්ටුවල ආරක්ෂණ නූල මත ලෝහ කොටස් ඉවත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ ඩේසි මල් මෝස්තරය අඩංගු කර ඇති අතර රුපියල් 1000 ‍නෝට්ටුවේ කුඩයක වියමනකට සමාන මෝස්තරයක් අඩංගු කර ඇති බව දැකිය හැක.
(ඇ) 1987 – 2001 දක්වා වර්ෂවල නිකුත් කරන ලද රුපියල් 1000 සහ 500 ‍නෝට්ටුවල යොදා ඇති ආරක්ෂණ නූල ‘ස්ටාර් ඩස්ට්’ නමින් හැඳින්වේ.
(ඈ) රුපියල් 10, 20, 50 සහ 100 වටිනාකම් සහිත නෝට්ටුවල “CENTRAL BANK OF SRI LANKA” යන පාඨය සහ නෝට්ටුවේ අදාළ වටිනාකම ක්ෂුද්‍ර අක්ෂරයෙන් නූල දිගේ මුද්‍රණය කරන ලද සිහින් පොලිසියෙස්ටර් පටියක් සේ ආරක්ෂන නූල යොදා ඇත.
2. දිය සලකුණ
නෝට්ටුව ආලෝකයට නිරාවරණය කොට දිය සලකුණ බැලීමේදී සිංහයකුගේ රුවක් නෝට්ටුවේ දෙපැත්තෙන්ම ඉතා පැහැදිලිව දෘෂ්‍යමාන වේ. මෙතෙක් ආකාර තුනක දිය සලකුණු හඳුන්වාදී ඇත.
(අ) 1995.11.15 දාතම සහිතව සහ ඉන්පසු නිකුත් කරන ලද නෝට්ටුවල ජාතික කොඩියේ දැක්වෙන සිංහ රූපය යොදා ඇති අතර සිංහයාගේ කඩුව විශේෂයෙන් කැපී පෙනෙන සේ දක්වා ඇත.
(ආ) 1987.01.01 න් පසුව නිකුත් කරන ලද නෝට්ටුවල ජාතික කොඩියේ සිංහ රුව යොදා ඇත.
(ඇ) 1987.01.01 දක්වා නිකුත් කරන ලද නෝට්ටුවල රත්නපුර දිසාවේ කොඩියේ අඩංගු සිංහ රුව දැකිය හැකිය.


3. විනිවිද පෙනෙන සලකුණ
නෝට්ටුව ආලෝකයට නිරාවරණය කර බැලීමේදී නෝට්ටුවේ ඉදිරිපස සහ පිටුපස එක් ස්ථානයක මුද්‍රණය කර ඇති හැඩතලයන් එකිනෙකට සමපාතීව පෙනෙනු ඇත.
4. උස්වූ මුද්‍රිත
නෝට්ටුව ඇඟිලි තුඩු මගින් ස්පර්ශ කළ විට “ශ්‍රී ලංකා මහ බැංකුව” නමැති අක්ෂර සහ ඒ ආසන්නයේ ඇති උස් වූ මුද්‍රිත හොඳින් දැනේ. එමෙන්ම නෝට්ටුව 100% ක් ම කපුවලින් නිෂ්පාදිත බැවින් එහි ඇති රළු ගතියද ඇඟිලිවලට පහසුවෙන් දැනේ.
5. බහු ස්ථර සැඟවුණ සලකුණ
නෝට්ටුවේ මුහුණත පැත්තේ මෝස්තරයක් තුළ සැඟවී ඇති එහි වටිනාකම සඳහන් ඉලක්කම් නෝට්ටුව ඇස් මට්ටමින් තිරස්ව ඉහළ පහළ කර බැලීමේදී දෘෂ්‍යමාන වේ.
6. ක්ෂුද්‍ර අක්ෂර
විශාලන කාචයක් තුළින් නෝට්ටුවේ ඉදිරිපස උඩ කොටස බැලීමේදී ඉතා කුඩාවට මුද්‍රිත ““CENTRAL BANK OF SRI LANKA” යන අක්ෂර පැහැදිලිව පෙනේ.
7. වැර ගැන් වූ කොන්
නෝට්ටුව ආලෝකයට යොමු කොට එහි කොන් සතර නිරීක්ෂණය කරන්න. 2005 වර්ෂයෙන් පසුව නිකුත් කරන ලද රුපියල් 500, 1000 සහ 2000 නෝට්ටුවල නෝට්ටුවේ කොන් සතරේ විකර්ණ ලෙස ගමන් කරන්නා වූ ඉරි කීපයක් තිබෙනු දැකිය හැකිය. මෙය ‘වැර ගැන්වූ කොන්’ නමැති දිය සළකුණයි.
ව්‍යාජ නෝට්ටුවක් ඔබ අතට පත්වුවහොත් කළයුත්තේ කුමක්ද?
1. සැක සහිත නෝට්ටුව අව්‍යාජ ‍නෝට්ටුවක් සමඟ සසඳන්න.
(අ) ආරක්ෂණ සලකුණු කීපයක් පරීක්ෂා කර බලන්න.
(ආ) සැක සහිත නෝට්ටුව ඔබ වෙත රඳවා ගන්න.
2. ව්‍යාජ නෝට්ටුව ඔබට ලැබුණ ආකාරය සහ නෝට්ටුව පිළිබඳ විස්තර සටහන් කර ගන්න.
(අ) වටිනාකම
(ආ) අනුක්‍රමික අංකය
3. ව්‍යාජ නෝට්ටුව ඔබට ලබාදුන් පුද්ගලයා/යන් පිළිබඳ විස්තර සටහන් කරගන්න.
(අ) පුද්ගලයාගේ හැඩරුව
(ආ) වාහනයකින් පැමිණියේ නම් එහි අංකය සහ
තොරතුරු
(ඇ) අවසන් වරට පුද්ගලයා දුටු ස්ථානය
(ඈ) පුද්ගලයා පිළිබඳ තොරතුරු (දන්නේනම්)
4. නෝට්ටුව වැඩිපුර ස්පර්ශ වීමෙන් වළක්වාලීම සඳහා ලියුම් කවරයක බහාලන්න.
5. ව්‍යාජ නෝට්ටුව පිළිබඳ ඔබ සොයාගත් තොරතුරු පවසා එම නෝට්ටුව ළගම ඇති පොලිස් ස්ථානය වෙත භාරදෙන්න.
ව්‍යාජ නෝට්ටුවලින් ප්‍රවේශම් වන්න
1949 අංක 58 දරණ මුදල් නීති පනතේ 49 වගන්තිය අනුව ශ්‍රී ලංකාව තුළ ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි නිකුත් කිරීමේ අධිකාරිමය බලය පැවරී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවටය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවට පරිබාහිරව කිසියම් තැනැත්තෙකු විසින් මුදල් නිකුත් කිරීමේ බලය මුදල් නීති පනතේ අංක 50 වගන්තිය යටතේ තහනම් වන්නේය.
මෙම නීතිය පිළිනොපදින්නා වූ කිසියම් තැනැත්තෙකු ව්‍යාජ මුදල්කරුවකු සේ සලකනු ලබන අතර මුදල් නීති පනතට අනුව වැරදිකරුවකු වේ.
මුදල් නෝට්ටු ව්‍යාජ ලෙස සකස් කිරීම, ඒ සඳහා මෙවලම් හෝ අමුද්‍රව්‍ය සැකසීම දණ්ඩ නීති සංග්‍රහයේ අංක 478 A සහ D වගන්තිය යටතේ සිරගත කිරීමකට හෝ දඬුවමකට ලක් කළ හැකි වරදකි.

සන්ධි ඉදිමුමට සේර හොදයි

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රස...