අද අප සාකච්ඡා කරන්න සූදානම් වන්නේ දෙවියන් සහ දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්නේ කෙසේද? කියන කාරණාව පිළිබඳවයි. ලෞකික ජීවිතයේ බොහෝ දුක්කම්කටුලු අතරේ මිහිපිට මිනිසුන්ගෙන් පිළිසරණක් නැති තැන බොහෝ දෙනා යොමු වන්නේ දෙව්ලොව දෙවියන් වෙතටයි. මේ ලිපිය ඔබට ඒ ගැන නිසි මඟපෙන්වීමක් සලසනවා නිරනුමානයි.
දෙවිවරුන් සම්බන්ධයෙන් කථා කරන විට අපට භූමාටු දෙවිවරුන් සහ ආකාස දෙවිවරුන් යනුවෙන් කොටස් දෙකක් හඳුනාගන්න පුළුවන්. භූමාටු දෙවිවරුන් කියන්නේ භූමිය ඇසුරු කරගෙන විමාන සකස් කරමින් සිටින දෙවිවරුන්ටයි. මේ දෙවිවරුන් නිවාසවලට ඉහළින් විමාන සකස් කරගෙන සිටිනවා. සමහරුන් ගස්වලට ඉහළින් විමාන සකස් කරගෙන වාස කරනවා. ගල්පර්වත, ළිංවලට ඉහළින් වගේම වනාන්තර, ගංගා, ඇළදොළ, වැව්, පොකුණු, විහාර මන්දිර ඇසුරු කරගෙනත් භූමාටු දෙවිවරුන් මේ විමාන සකස් කරගෙන තිබෙනවා.
ආකාස දෙවිවරුන් ගැන සොයා බැලුවොත්: චාතුම්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිත වසවර්තිය කියලා ප්‍රධාන දිව්‍යලෝක හයක් තිබෙනවා. ඒ දිව්‍ය ලෝක හය පිහිටා තිබෙන්නේ මහ මුහුදේ. මහාමේරු පර්වතය යොදුන් අසූහාර දහසක් මහමුහුද යටට බැසගෙන තිබෙනවා. මුහුදින් උඩටත් යොදුන් අසූහාරදහසක් උසට තිබෙනවා. මේ මහාමේරු පර්වතය පෙනෙන්නේ ඍද්ධිලාභීන්ට පමණයි. එය රිදීමය පර්වතයක්. උදාන පාලි අට්ඨකථාවේ සඳහන් වන්නේ ‘චාතුම්මහාරාජික’ කියන දිව්‍ය ලෝකය පිහිටා තිබෙන්නේ මේ මහාමේරුව මතුපිට වූ භුමිභාගයක බවයි. එතනින් එහා ඉහළ ආකාසයේ තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිත වසවර්තිය යන ආකාස විමාන පිහිටා තිබෙනවා.
දෙවිවරුන්ගේ ශරීරය කොයි වගේ ද කියල පැහැදිලි කළොත්: ඔවුන්ට තිබෙන්නේ අවශ්‍ය විටදි කුඩා කරගන්න විශාල කරගන්න පුළුවන් මනෝමය කයක්. වරක් බුදු රජාණන් වහන්සේ බැහැදකින්න දෙවි කෙනෙක් ආවා. ඒ දෙවිකෙනා බුදු රජාණන් වහන්සේ ඉදිරියේ හිඳගැනීමට උත්සාහ කළා. එහිදී ඔහු පොළොව ඇතුළට ගිලී ගියා; ආයෙමත් ඉහළට ඇවිත් හිඳගන්න උත්සාහ කළා; ආයෙමත් පොළොව තුළට ගිලී ගියා. මේ ආකාරයට කිහිප විටක් මේ එකම දේ
සිදු වුණා. හතරවැනි සැරේ උඩට ආවාම බුදු රජාණන් වහන්සේ දේශනා කළා ‘දිව්‍ය පුත්‍රය, ඔබේ ශරීරය මේ පොළොව මත තබන්න බැහැ. පොළොව මත තැබුවොත් එය වැලිවලට එළගිතෙල් දැමීමක් වගේ ශරීරය යටට ගමන් කරනවා. ඒ නිසා ඔය ශරීරය ඝන කරගන්න’ කියලා. එවිට ඒ දෙවියන් ‘මගේ ශරීරය පොළොව මත රඳවා තබාගැනීමට හැකි ලෙස ඝන වෙන්න’ යැයි අධිෂ්ඨාන කළා. එම දෙවියන්ට වාඩිවෙන්න පුළුවන් වුණේ ඉන් පසුවයි. ඒ සූත්‍රයේදී බුදු රජාණන් වහන්සේ සඳහන් කරනවා ‘ඔබේ ශරීරය හරියට මගධ වෙල්යායේ කුඹුරු දෙක-තුනක් පමණ ඇතිනේ!’ කියා. ඒ දෙවියන්ගේ ශරීරයේ තරම එයින් වටහාගන්න පුළුවන්. අපි දෙවිවරු ජීවමානව ඉන්නවා දැකලා නැහැ. ඒ වගේම ප්‍රේතයෝ, භූතයෝ දැකලත් නැහැ.
මේ නිසා අපි මේ අයගේ ශරීර ගැන හිතන්නෙත් අපි දන්නා මිනිස්සුන්ගේ ප්‍රමාණයට සමානවයි. ඒත් මේ දෙවිවරු ඊට වඩා ශාරීරිකව හුඟක් වෙනස්. අපට ඒ පිළිබඳව හිතාගන්නත් අමාරුයි. ඒත් බුද්ධ දේශනාවේ මේ දේව ශරීරය ගැන සඳහන් වන්නේ ගව්තුනක් තරම් ශරීර, ඒ කියන්නේ සැතපුම් හතරේ ඒවා තුනක් උස ශරීරයක්; ඒ වගේම රත්තරන් තොරණක් වගේ බබළන ශරීර. දෙවිවරු මනුෂ්‍ය ලෝකයට එනවා නම් මිනිස් ප්‍රමාණයේ ශරීරයක් මවාගෙනයි එන්නේ. නැතිව එතරම් විශාල ශරීරයක් ඇති දෙවි කෙනෙක් මිනිසුන් අතරට ආවොත් මුහුණවත් බලාගන්න බැරි වෙනවා! සුනීධ, වස්සකාර කියන මගධ මහාමාත්‍යවරු දෙදෙනා පාඨලීපුත්ත කියන නගරය නිර්මාණය කරන විට කුඩා ගෙවල් හැදුවා; මධ්‍යම ප්‍රමාණයේ ගෙවල් හැදුවා; ඒ වගේම විශාල ගෙවලුත් හැදුවා. ඉන් අනතුරුව බුද්ධ ප්‍රමුඛ මහාසංඝයා වැඩම කරවා මේ ගමේ එක් ගෙදරක දානයක් දිය යුතුයි කියලා අදහස් කළා. දානය වළඳලා අවසන් වෙලා බුදු රජාණන් වහන්සේ ධර්මදේශනාවක් කළා. එයට කියන්නේ පාඨලීපුත්ත සූත්‍රය කියලයි.
ත්‍රිපිටකයේ ඛුද්දක නිපාතයේ, උදාන පාලියේ සඳහන් ආකාරයට පාඨලීපුත්ත තෙරුන් වහන්සේට උන් වහන්සේ: කුඩා නිවෙසක් හදනකොට කුඩා දෙවි කෙනෙක් ඊට ඉහළින් කුඩා විමානයක් සකස් කරගන්නා බවත්, මධ්‍යම ප්‍රමාණයේ නිවාසයක් තනන විට මධ්‍යම ප්‍රමාණයේ බලය ඇති දෙවි කෙනෙක් මේ නිවෙසට උඩින් විමානයක් සකස් කරගන්නා බවත්, විශාල ගෙයක් තැනූ ස්ථානයක මහා බලසම්පන්න දෙවිකෙනෙක් ඒ නිවෙසට ඉහළින් විමානයක් සකස් කර ගන්නා බවත්, මේ දෙවිවරුන් ඒ ඒ නිවාසවලට අධිගෘහීත වන බවත් දේශනා වෙනවා.
දැන් පින්වතුන්ට හිතෙන්න පුළුවන් මේ සෑම තරාතිරමකම නිවෙසක් ඉහළම දෙවිකෙනෙක් අරක් අරගෙන සිටිනවා නම්, ඇයි අපිට දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ නැත්තේ, ඇයි අපට දෙවියන් බලන්නෙ නැත්තේ, ඇයි අපට මෙච්චර කරදර වෙන්නේ කියලා. ඇත්තටම දෙවිවරු විමාන හදන්නේ ගෙදර ඉන්න අයට බලන්න නොවෙයි. ඒ අයට උදවු කරන්න නොවෙයි. භූමාටු දෙවිවරුන්ට ගෙයක්-දොරක්, නිවහනක්, පර්වතයක් නැතුව විමාන සකස් කරන්න බැහැ.
ඉතින් විමානයක් සකස් කරන්න නම් නිවෙසක් අවශ්‍යයිනේ. ඒකයි එවැනි තැනක විමාන සකස් කරගන්නේ. නැතිව ගෙදර ඉන්න අයව ආරක්ෂා කරන්න ඕනෑ කියන අදහසින් නෙමෙයි. ඒක අප හොඳින් තේරුම් ගන්න ඕනෑ. මේ ලෝකේ ඉන්න බුද්ධිමත් අය තමන්ගේ නිවෙසේදී පින්කම් සිදු කර, එම නිවෙසේ යම් දෙවි කෙනකු ඉන්නවා නම් ඒ දෙවි කෙනාට මුලින්ම පින් දෙනවා.
ඒත් බොහෝ දෙනා නිවෙසට අධිපති දෙවියන්ට පින් දෙන්නෙම නැහැනේ. ඒ වෙනුවට සියලු දෙවිවරුන්ටයි අද අප පින් දෙන්න කටයුතු කරන්නේ. එසේ නොමැති නම් විෂ්ණු, විභිෂණ, සමන්, කතරගම දෙවිවරුන්ටයි. එහෙත් අප මුලින්ම පින් දිය යුතු වන්නේ නිවෙසට අධිගෘහීත දෙවියන්ටයි. ඒ දෙවියන්ට අපි කියන්නේ ‘ආරක්ෂක දෙවියෝ’ කියලයි. ඒ නිවෙසට අධිපති දෙවියන්ට පින් දීමෙන් මිනිසාට දෙවියන්ගේ අනුකම්පාව ලැබෙනවා, සැමදාම දියුණුව සැලසෙනවා කියලා පාඨලීපුත්ත සූත්‍රයේ සඳහන් වනවා.
ඒ වගේම දෙවියන්ගේ අනුකම්පාව ලබාගැනීමේ තව ක්‍රමයක් වන්නේ ඒ අධිගෘහීත දෙවියන්ට මෛත්‍රී කිරීමයි. ඔබ විවේකිව ඉන්න වෙලාවක මුලින් තමන්ට මෛත්‍රී කරන්න; ඉන් අනතුරුව මේ නිවෙසට අධිපති දෙවියෝ වෛර නොවෙත්වා! තරහ නොවෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! කියලා මෙත් සිත වඩලා පින් පැමිණවීමේදී දෙවියන්ගේ පිහිට අපිට නිරතුරුව ලැබෙනවා.
ඒ වගේම බුදු රජාණන් වහන්සේ රතන සූත්‍රයේදී දේශනා කළා: “දිවාච රත්තෝච හරන්තියේ බලිං තස්මාහි මේ රක්ඛත අප්පමත්තා’’ දෙවියන්ට බුදු රජාණන් වහසේ දේශනා කළා: “ඔබලාට දිවා-රෑ දෙකෙහිම යම්කිසි කෙනකු බලි ගෙන එත් නම්, ඒ බලි ගෙන එන්නන් අප්‍රමාදීව ආරක්ෂා කරන්න’’ කියා. රතන සූත්‍ර අට්ඨකථාවේ පැහැදිලිව දේශනා කර තිබෙනවා දිවා-රාත්‍රි ගෙන එන බලි මොනවාද කියලා. ඒ බලි කොටස් දෙකකට බෙදනවා. පළමුවැනි එක: ඒ කාලයේ ජනයා දෙවියන් ඇතැයි කියා සලකන වනස්පති ගස් අතර දෙවියන්ගේ රුව ඇඳලා උදේ-දහල්-සවස පූජා කරනවා. රාත්‍රී කාලයේදීත් ඒ ආකාරයට රාත්‍රි බලි පවත්වනවා. සමහර පින්වතුන් මේ කිනම් හෝ කාලයක බලි පවත්වා දෙවියන්‍ට පින් පමුණුවනවා. එයත් දෙවියන්ට පින් දීමේ ක්‍රමයක්. ඒ වගේම රාත්‍රී කාලයේ ධර්මදේශනා කරනවා, පිරිත් අසනවා, ධර්මශ්‍රවණය කරනවා. මේ ආකාරයට මල්, පලතුරු, සුවඳදුම් පූජා කරනවා. මේ ආකාර පූජා වැඩක් නැහැ කියලා ඇතැමකු තර්ක කරන්න පුළුවන්. ඒත් එය ධර්මය නොදන්නාකම නිසා කරන තර්කයක් පමණයි.
දෙවියන් පෘථග්ජනයි. ඒ අය රාග, ද්වේෂ, මෝහවලින් යුතුයි. සමහර දෙවියන් කැමැතියි තමන්ට ගරු කරනවාට. එහෙම කරන අයට දෙවියන් උදවු-උපකාර කරනවා. ඒ නිසා භෞතික දේවල් පූජා කිරීම ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. පින් අනුමෝදන් කළාම, ඒ පිළිබඳ සතුටු සිතින් පින් පමුණුවන්නන්ට උදවු-උපකාර කරනවා. ඒ නිසා මේ දෙකෙන් එකක්වත් ප්‍රතික්ෂේප කිරීම හොඳ නැහැ. රතන සූත්‍ර අට්ඨකථාවේ ඒ පිළිබඳ පැහැදිලිවම සඳහන් වෙලා තියනවා. ඒ දෙකම ප්‍රතික්ෂේප කරන්න තරම් අපි අන්තගාමි විය යුතු නැහැ.
පින් අනුමෝදන් කරන දෙවිවරු හතර නමක් ඉන්නවා. ඒ දෙවිවරු හතර දෙනා විෂ්ණු, විභීෂණ, සුමනසමන්, කතරගම යන ලංකාද්වීපයේ සතර වරම් දෙවිවරු. ඊළඟට අපි පින් දෙන දෙවිවරු වන්නේ සදෙව්ලොව ඉන්නා විරූඪ, විරූපාක්ෂ, ධෘතරාෂ්ට්‍ර, වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු. ඒ දෙවිවරු ඉන්නේ චාතුර්මහාරාජික කියන දිව්‍යලෝකවලයි. තවුතිසා දිව්‍යලෝකයේ ඉන්න සක් දෙවියන්ට අපි ඉන් අනතුරුව පින් දෙනවා. යාම දිව්‍ලෝකයේ ප්‍රධාන දිව්‍යපුත්‍රයාට අපි කියන්නේ ‘ස්යාම’ දිව්‍යපුත්‍රයා කියලයි. තුසිත දිව්‍යලෝකයේ දෙවියන් හඳුන්වන්නේ ‘සන්තුසිත’ කියලයි. නිම්මානරතියේ ප්‍රධාන දිව්‍යපුත්‍රයාට කියන්නේ ‘සුනිමින්ත’ දිව්‍යපුත්‍රයා කියලයි. පරනිම්මිත වසවර්තී දිව්‍යලෝකයේ ප්‍රධාන දෙවියා වන්නේ ‘වසවර්තීමාර’ දිව්‍යපුත්‍රයායි. අතීතයේ සිටම බෞද්ධයන් අතර සම්ප්‍රදායක් තිබෙනවා මුලින්ම තමන් වාසය කරන ස්ථානයට අධිගෘහීත දෙවියන්ට පින් දීමෙන් අනතුරුව ඊළඟට විෂ්ණු කතරගම සමන් විභීෂණ කියන දෙවියන්ට සහ ඉන් පසුව තථාගතයන් වහන්සේගේ පාදස්ථානයෙන් පරම පවිත්‍රත්වයට පත් වුණු සොළොස්මස්ථානවලට අධිගෘහීත දෙවියන්ට පින් දීමට. ඉන් පසුව සියලු චෛත්‍ය, සියලු බෝධිවෘක්ෂ, සියලු ප්‍රතිමා ගෘහයන්ට අධිපති දෙවියෝ මේ පින් ලබාගනිත්වා! කියලා ඒ දෙවියන්ට පින් දීමට. ඉන් පසුව ගස්-ගල්, පර්වත, ඇළ-දොළ-ගංගා, ලිං-පොකුණු, මහපොළොව, මහාසාගරය සහ වනාන්තර ආදියට අධිගෘහීත දෙවියන්‍ට මේ පින් අනුමෝදන් වෙත්වා! කියලා.
ඒ සම්ප්‍රදාය අනුගමනය කරලා, අදත් අපි ඒ ආකාරයට පින් අනුමෝදන් කරනවා නම් අපට මේ දෙවියන්ගේ පිහිටාරක්ෂාව, ආශීර්වාදය ලබාගැනීමට හැකි වන බව විශේෂයෙන් සඳහන් කරන්න කැමැතියි.
ඒ වගේම දෙවිවරුන්ගේ පින්තුර ගෙවල්වල තිබෙනවා බුද්ධ ප්‍රතිමාවට ආසන්නවම. එහෙම කරන්න එපා. බුද්ධ ගෞරවයට එය හොඳ මදි. දෙවියන්ගේ ප්‍රතිමාවක් තිබීම අනිවාර්යය නැහැ. තැබීමට අවශ්‍යම නම් අනිවාර්යයෙන්ම බුද්ධ ප්‍රතිමාවට පහතින් තැබිය යුතුයි.
සමහර පින්වතුන් කියනවා දෙවියන්ට පූජාවට්ටි පිළියෙල කරන එක බෞද්ධයන්ට ගැළපෙන්නේ නැහැ, තිසරණයට බාධාවක් වෙනවා කියලා. ඒත් එහෙම වෙන්නේ නැහැ. දෙවියන් සතුටු වන දෙයක් දීලා ඒ අයගෙන් පිහිටක් පැතුවට තිසරණයට බාධාවක් වන්නේ නැහැ. අපි බුද්ධ රත්නය, ධම්ම රත්නය හා සංඝ රත්නයයි අදහන්නේ; දෙවියෝ අදහන්නේ නැහැ. අපි ආගමික නායකයන් විදිහට දෙවියෝ අදහන්නේ නැහැ. දෙවියෝ දෙව්ලොව ඉපදුණේ මනුස්සලෝකේ ඉන්න කාලේ පුරුදු කරන ලද ගුණ ධර්ම පහක් නිසයි. ඒ ගුණධර්ම නම් සද්ධාව, සුතය, සීලය, ත්‍යාග සහ ප්‍රඥාවයි. බණ අසමින් ධර්මඥානය දියුණු කළා. අපිත් මේ කාරණා පහ දියුණු කරනවා නම් අපිත් මරණින් මතු දෙව්ලොව ඉපදෙනවා; සක් දෙව් රජු ගමනක් යන අතර රථයෙන් බැහැලා මිනිස්ලොව දෙසට දෙවරක් වන්දනා කළා මාතලී දිව්‍යපුත්‍රයා ඇහුවා “ඔබට දෙවිවරු ඇතුළු මිනිස්සුත් වඳිනවා. ඔබ මේ වඳින්නේ කාටද?’’ කියලා එවිට සක් දෙවියන් ප්‍රකාශ කළා: “සිල්වත්, නැණවත් පැවිදි උතුමන්ට මුලින් නමස්කාර කරනවා, ඉන් පසු මා දෙවනුව වඳින්නේ පන්සිල් ආරක්ෂා කරමින් ධාර්මිකව, සිල්වත්ව, ගුණවත්ව අඹුදරුවන් පෝෂණය කරන, ආරක්ෂා කරන ගෘහස්ථ පින්වතුන්ටයි’’ කියලා. මෙයින් පැහැදිලි වනවා සිල්වත්ව, ගුණවත්ව, ධාර්මිකව ජීවත් වනවා නම් ඒ අයට දෙවියොත් නමස්කාර කරනව බව.
ඡායාරූපය – ශාන් රඹුක්වැල්ල