භාණ්ඩයක ප්‍රමිති සහතිකය ගැන දැනගමු



ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් නයනා සතරසිංහ
නිෂ්පාදන භාණ්ඩවලට පමණක් නොව නොයෙක් කළමනාකරණ පද්ධතින් සඳහාද එස්එල්එස් ලාංඡනය ලබා දේ. දැනට ආයතන වශයෙන් 497ක් එස්එල්එස් ලාංඡන සහතික ලබා තිබෙන අතර එම ආයතනවලින් නිෂ්පාදිත ආහාර වර්ග මෙන්ම ගොඩනැඟිලි ඉදිකිරීමට අවැසි උපකරණ ඇතුළුව නිෂ්පාදන භාණ්ඩ වර්ග 1117කට එස්එල්එස් ලාංඡනය ලබා දී තිබේ.
යම් භාණ්ඩයක් සාමාන්‍ය පාරිභෝගිකයෙකු පියවි ඇසින් දුටු විට එය නිසි ප්‍රමිතියෙන් යුත් භාණ්ඩයක්ද යන්න තීරණය කිරීමට හැකියාවක් නොමැති හෙයින් භාණ්ඩ මිලදී ගැනීමේදී එස්එල්එස් (SLS) ලාංඡනය පාරිභෝගිකයන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධකයකි. එසේ භාණ්ඩයක් සඳහා එස්එල්එස් ප්‍රමිති සහතිකය ලබා දෙනුයේ ඊට අදාළ සියලුම ප්‍රමිතීන් නිසි ප්‍රමිතියෙන් යුත් පරීක්ෂණාගාරයක තත්ත්ව පරීක්ෂාවකට ලක් කිරීමෙනි.
භාණ්ඩ සඳහා එස්එල්එස් ලාංඡනය ලබාදීම සඳහා අනිවාර්යයෙන්ම පරීක්ෂණාගාරයක තත්ත්ව පරීක්ෂාවකට ලක්විය යුතුම බවත් රටපුරා ව්‍යාප්තව පවතින එස්එල්එස් ලාංඡනය සහිත සියලුම භාණ්ඩ එලෙස තත්ත්ව පරීක්ෂාවකට ලක්වූ භාණ්ඩ යැයි පවසා සිටියේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් නයනා සතරසිංහ මහත්මියයි. ඇය සිළුමිණ සමඟ පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරෙන් ලිපිය සකස් වෙයි.
එක්දහස් නවසිය හැටහතර වර්ෂයේ මුලින්ම ප්‍රමිති කාර්යාංශය නමින් බිහිවූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය 1984 වර්ෂයේදී වැඩිදියුණු කරමින් විෂය පථය පුළුල් වෙමින් වර්තමානයේ තිබෙන තත්ත්වයට පත්ව තිබේ. සියයට සියයක්ම රාජ්‍ය ආයතනයක් වන මින් සෑම ක්ෂේත්‍රයකටම අත්‍යවශ්‍ය ජාතික ප්‍රමිතීන් සකස් කිරීම මූලිකම කාර්යභාරය වන අතරේ නියමිත තත්ත්ව පරීක්ෂාවකින් පසු එස්එල්එස් සහතික ලාංඡනය පිරිනැමීම මූලික කාර්යභාරයක් බව පවසා සිටි අධ්‍යක්ෂ ජෙනරාල්වරිය,
“අපගේ සුදුසුකම්ලත් තත්ත්ව පරීක්ෂකවරුන් 135 දෙනෙක් රටපුරා ව්‍යාප්තව සිටිනවා. ඔවුන් විසින් අදාළ ආයතනයට ගොස් භාණ්ඩය නිෂ්පාදනය කරන මුළු ක්‍රියාවලියම සොයා බලනවා. එහිදී අදාළ භාණ්ඩය නිෂ්පාදනයට අදාළ අමුද්‍රව්‍ය ලබාගන්නා ස්ථානයේ සිට භාණ්ඩ නිෂ්පාදනයට අදාළ සෑම අංශයක් කෙරෙහිම නිසි තත්ත්ව පරීක්ෂාවකට භාජනය කරනවා. එහිදී අප එක් එක් දේවලට අදාළ ප්‍රමිතීන් හඳුන්වා දී තිබෙනවා, එම ප්‍රමිතීන්ට අදාළව ඒ සෑම දෙයක්ම තිබේද කියා අපගේ පරීක්ෂකවරුන් සොයා බලනවා. අන්න එවැනි කරුණු ගැන සැලැකිලිමත්ව භාණ්ඩ නිෂ්පාදනය කළහොත් පමණයි එස්එල්එස් ලාංඡනය පිරිනමන්නෙ” යැයි පවසා සිටියාය.
එසේම ප්‍රමිති ලාංඡනය ලබාදුන් පසුව අඛණ්ඩව එම සහතිකයේ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු සිදු වෙනවාද යන්න නිරන්තරයෙන්ම සොයා බලන බව කී ඇය, “අනිවාර්යයෙන්ම. අපේ පරීක්ෂකවරුන් විසින් දිගින් දිගටම එම භාණ්ඩය නිසි ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරනවාද කියා අමුද්‍රව්‍ය ලබාගන්නා ස්ථානයේ සිටම නැවත නැවතත් සොයා බලනවා.” ඒ අනුව වෙළෙඳපොළේ තිබෙන එස්එල්එස් ලාංඡන සහිත භාණ්ඩ නැවත නැවතත් පරීක්ෂාවට ලක්කරන බවද කීවාය.
නිෂ්පාදන භාණ්ඩවලට පමණක් නොව නොයෙක් කළමනාකරණ පද්ධතින් සඳහාද එස්එල්එස් ලාංඡනය ලබා දේ. දැනට ආයතන වශයෙන් 497ක් එස්එල්එස් ලාංඡන සහතික ලබා තිබෙන අතර එම ආයතනවලින් නිෂ්පාදිත ආහාර වර්ග මෙන්ම ගොඩනැඟිලි ඉදිකිරීමට අවැසි උපකරණ ඇතුළුව නිෂ්පාදන භාණ්ඩ වර්ග 1117කට එස්එල්එස් ලාංඡනය ලබා දී තිබේ. ඊට අමතරව හඳුනාගත් භාණ්ඩ නිෂ්පාදන 123ක් මෙරටට ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුවද යන්න සොයා බලා එස්එල්එස් සහතිකය පිරිනැමේ. එය ආනයනය අපනයන දෙපාර්තමේන්තුව සමඟ එක්ව කරන කාර්යභාරයක් බවද ඇය අවධාරණය කොට සිටියාය. එසේම මෙරටට ආනයනය කරන සිමෙන්ති වර්ග හතරක් සහ දඟර කම්බිවලට අමතරව සියලුම යතුරුපැදි හිස්වැසුම්වලට එස්එල්එස් සහතික ලාංඡනය අනිවාර්යය කර තිබේ.
එම අනිවාර්ය සහතික පනවා තිබෙනුයේ පාරිභෝගික කටයුතු අධිකාරිය විසිනි. ඒ අනුව එම භාණ්ඩවලට එස්එල්එස් සහතිකය නොමැතිව කිසිදු කෙනෙකුට මෙරටට ආනයනය කිරීමට හැකියාවක් නොමැත.
සේවාවන් සඳහා එස්එල්එස් ලාංඡනය ලබා නොදුන්නත් ඒ සඳහා අන්තර්ජාතික ප්‍රමිති සහතිකය වන අයිඑස්ඕ (ISO) සහතිකය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළුව රටපුරා ව්‍යාප්ත තවත් පෞද්ගලික ආයතන කීපයකින් ලබා දේ. එලෙස අයිඑස්ඕ සහතිකය පිරිනමන අන්තර්ජාතික ප්‍රමිති ආයතනය බිහිව තිබෙනුයේ රටවල් 162ක ප්‍රමිති ආයතන එක්වීමෙනි.
එස්එල්එස් සහතික ලාංඡනයෙන් මෙරට පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සහතික වන්නෙ කෙසේදැයි විමසූ කල, “මෙහෙමයි, තුන්වැනි පාර්ශ්වයක් ලෙස ප්‍රමිති ආයතනය කටයුතු කරමින් අදාළ නිෂ්පාදන භාණ්ඩය පරිභෝජනයට ඉතාම සුදුසු දෙයක් ලෙස පාරිභෝගිකයාට සහතිකයක් ලබා දෙනවා. එම සහතිකය, භාණ්ඩය ගැන විශ්වාසය සහ ආරක්ෂාව තහවුරු කිරීමට පාරිභෝගිකයාට ලැබෙන ඉහළම සහතිකයක්.”
භාණ්ඩවල විශ්වාසය සහ ආරක්ෂාව පාරිභෝගිකයාට තහවුරු කිරීම වෙනුවෙන් නිෂ්පාදන ආයතනවලට එස්එල්එස් සහතිකය ලබා ගැනීම ඉතාම වටිනාම දෙයකි. එවැනි වටිනා සහතිකයක් ලබාගන්නා ආකාරයද අධ්‍යක්ෂ ජෙනරාල්වරිය මෙසේ පැහැදිලි කළාය.
“අපේ ආයතනයෙන් නිකුත් කරන අයදුම්පත්‍රයක් අදාළ සහතිකය ලබා ගැනීමට යොමුකළ පසුව ප්‍රමිති ආයතන පරීක්ෂකවරුන් ගොස් සියලුම කාර්යභාරයන් භාණ්ඩ නිෂ්පාදන ආයතනයේ පරීක්ෂාවට ලක්කරනවා. සාමාන්‍ය‍ෙයන් ඉල්ලුම් කරන ආයතනවලින් බොහෝ ප්‍රමාණයක් අපගේ නිසි ප්‍රමිතීන්ට අනුකූලව නැහැ. ඔවුන් අපගේ ප්‍රමිතීන්ට අනුකූලව හැඩ ගැසෙන තෙක් එස්එල්එස් සහතිකය ලබා දෙන්නෙ නැහැ.” එවැනි නිෂ්පාදන ආයතනවල අමුද්‍රව්‍ය පාලනය, භාණ්ඩයේ සෞඛ්‍යාරක්ෂිත බව, සේවක පිරිසුදු බව, උපකරණවලින් ලබාදෙන දත්තවල නිරවද්‍යතාවන් ආදි සෑම දෙයක් ගැනම ප්‍රමිති ආයතන පරීක්ෂකවරුන්ගේ උකුසු ඇසට යොමු වේ.
වෙළෙඳපොළේ නිතර ඇස ගැටෙන නොයෙක් භාණ්ඩවලට එස්එල්එස් ලාංඡනය හිමි වී තිබෙනු දක්නට ලැබේ. භාණ්ඩයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයන්ගේ නෙත් නිරන්තරයෙන්ම එස්එල්එස් සහතිකය දෙසට යොමුවීම අත්‍යවශ්‍ය සාධකයකි. එවැනි එස්එල්එස් සහතික ලාංඡනය සහිත නිෂ්පාදන භාණ්ඩයක යම් අඩුපාඩුවක් වේනම්,
“ඉක්මනින්ම අපිට දන්වන්න. අපි ඒ ගැන සොයා බලනවා. නිෂ්පාදකයා දැනුවත් කරනවා. නිෂ්පාදකයාගේ දෝෂයක්නම් අපි ඔහුව නිසි ප්‍රමිතියට යොමු කරනවා. නැතුව නිෂ්පාදකයා යම් ආකාරයක අක්‍රමිකතාවක් සිදුකරනවානම් අපි ඒ වෙනුවෙන් නිසි පියවර ගන්නවා” යැයි පවසන අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පැමිණිලි ඉදිරිපත් කිරීමේදී සත්‍යයෙන් තොරව අපගේ ආයතන නිලධාරින් නොමඟ යවන පැමිණිලි ඉදිරිපත් නොකරන ලෙස පාරිභෝගික ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළාය. එසේම එවැනි ගැටලු සහගත භාණ්ඩයක් හමු වුවහොත් එම භාණ්ඩය ඉක්මනින්ම අප වෙත ලැබෙන්නට සලස්වන්නැයිද ඇය ඉල්ලා සිටියාය. තවද යම් භාණ්ඩයකට ප්‍රමිති සහතිකය ලබාගත් පසුව අදාළ නිෂ්පාදන ආයතනය විසින් එම භාණ්ඩයේ යම් වෙනස්කමක් කරනවානම් අනිවාර්යයෙන්ම ප්‍රමිති ආයතනය දැනුවත් කළ යුතුම වේ.
රටක් වශයෙන් දියුණුව කරා යාමට නම් පාරිභෝගිකයන් ලෙස නිෂ්පාදකයාගෙන් සෑම විටම ඉල්ලා සිටිය යුත්තෙ ගුණාත්මක සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් උසස් භාණ්ඩ වේ. එලෙස උසස් භාණ්ඩ ඉල්ලා සිටියහොත් අනිවාර්යයෙන්ම නිෂ්පාදකයාද එවැනි භාණ්ඩ ලබාදිය යුතු වේ. එලෙස නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර විශ්වාසය තහවුරු කිරීමට ක්‍රියා කරන හොඳම තුන්වැනි පාර්ශ්වයක් ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සැලැකිය හැක.
පාරිභෝගිකයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට එස්එල්එස් සහතිකය භාවිත කළත් නිෂ්පාදන ආයතනද එස්එල්එස් සහතික ලාංඡනය තම භාණ්ඩවලට යෙදීම සඳහා ලබාගන්නෙනම් එය ඔවුන්ගේ නිෂ්පාදනවල ගුණාත්මක බව සහ නිසි ප්‍රමිතිය ගැන තක්සේරුවක් සියලු දෙනාටම ලබා ගැනීමට හොඳම මඟකි. එම නිසා එස්එල්එස් සහතිකය යනු එක් පැත්තකින් පාරිභෝගිකයා සුරක්ෂිත වනවා සේම නිෂ්පාදකයා ගැන පාරිභෝගිකයාට නියම තක්සේරුවක් ලබා ගැනීමට හොඳ මෙවලමකි.
අමිල මලවිසූරිය
ඡායාරූප – තුෂාර ප්‍රනාන්දු

සන්ධි ඉදිමුමට සේර හොදයි

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රස...