සෙත ශාන්තිය ලගාකරන ජලනන්දන පිරිත.
අණවින කොඩිවින කපන්නට බොහෝ ඇදුරන් යොදා ගන්නේ ජලනන්දන පිරිතය. එය ඉතාම බලසම්පන්නය. ඒත් දෙපැත්ත කැපෙන ආයුධයක් මෙන් මුවහත්ය. අපට “පිරිත්” යන වදන ඇසුණු විටම මතකයට නැඟෙන්නේ “වරු තුනේ පිරිත”, “සෙත් පිරිත”, “සති පිරිත”, “හැටපැයේ පිරිත” ආදිය සිහිවේ. ඒ අතර “ගිහි පිරිත” ගැනද සඳහන් වේ. ඉහත පිරිත් සමඟ බුදු දහම හා ජ්‍යෙතිෂයත්, ගුප්ත විද්‍යාවත් එක්කරන බැඳීම පෙන්වයි. ගුවන් විදුලියේ හෝ රූපවාහිනියේ දිනපතා විකාශය වන “පිරිත්” ප්‍රචාරය වන වේලාවට ඒවා ඇසෙන්නට සැලසීම බොහෝ නිවැසියන් කරන සිරිතකි. එසේම මල් පහන් පූජා කිරීමෙන් පසු “තුන් සූත්‍රය” කියවීම බෞද්ධ නිවෙස්වල සිරිතක්ව පවතී. දේශනා කිරීමත්, ශ්‍රවණය කිරීමත් ගුණ දෙන පිරිත් ප්රබලය. බලවත්ය.
රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, මංගල සූත්‍රය, පරාභව සූත්‍රය ආදී ලෙස පිරිත් පොතේ සූත්‍ර ඇතත් “පිරිත්” ලෙස සඳහන් වන්නේ සුළු පිරිත් සංඛ්‍යාවකි. ඒ අතර ජය පිරිත, සූර්ය පිරිත, චන්ද්‍ර පිරිත ආදිය උදාහරණ සේ දැකිය හැක. එහෙත් පිරිත් පොතේ සඳහන් නොවන තවත් පිරිතක් ඇත. එය “ජලනන්දන පිරිත” ය. ඒ නිසා ජලනන්දන පිරිත ගැන විමසීම වැදගත්ය. මා මුලින් පැවසුවාක් මෙන් ජලනන්දන පිරිත දෙපැත්ත කැපෙන ආයුධයකි. නිවෙස්වල හෝ පුද්ගලයන්ට එල්ල වී ඇති අමනුෂ්‍ය දෝෂ විනාශ කරන්නට මෙම ජලනන්දන පිරිත යොදා ගැනේ. එමගින් සියලු අමනුෂ්‍ය දොස් හා හදි හූනියං විනාශ කරදැමිය හැකි යෑයි පිළිගැනේ. ඒත් මෙහි ඇති එක් විශේෂයක් පමණි. එනම් පුද්ගලයන්ට හා නිවෙස්වලට කර ඇති ආරක්ෂාවන්ද මේ ජලනන්දන පිරිත මගින් කැපී යන්නට ඉඩ ඇත. ඒ නිසා “දැනගෙන ගියොත් කතරගම – නොදැන ගියොත් අතරමඟ” යන ජනවහරද අප සිත තබාගෙන ජලනන්දන පිරිත භාවිත කළ යුතුය.
යක්ෂ භූත පිසාචාත්ම – ග්‍රහ දෝෂ විනාසනං
චතුවී සති බුද්ධෝති – සබ්බ දෝෂ විනාසනං
යක්ෂ, භූත අමනුෂ්‍ය භය මෙන්ම සියලුම දෝෂ විනාශ වීමත් මේ ජලනන්දන පිරිතෙන් සිදුවන බව ඉන් පැහැදිලිය. ජලනන්දන පිරිත නිසි අයුරු භාවිත කිරීමෙන් සර්ව දෝෂ විනාශ කරගත හැකියි. ඒත් ඇතමුන් පෙන්වා දෙන්නේ ජලනන්දන පිරිත භාවිතා කිරීමෙන් යහපත් දේ විනාශ නොවන බවත් අයහපත් දේ විනාශ වන බවත්ය. ඒ අනුව නිවසේ ආරක්ෂාවට සහ පුද්ගලයන්ගේ ග්‍රහ අපල දුරු කිරීමට යොදා ගන්නා ආරක්ෂාවන් ජලනන්දනයෙන් විනාශ නොවන බව පැවසුවද වැඩිදෙනා සහ අත්දැකීමෙන් පිළිගත හැක්කේ ජලනන්දන පිරිත සියලු බන්ධන කපාහරින බවය.
ජලනන්දන පිරිත අනවශ්‍ය ලෙස භාවිතා කළහොත් ඔබ දහස් ගණන් මුදල් වැයකොට සිදු කරගත් ග්‍රහ අපලවලින් ආරක්ෂාවීම වැනි යන්ත්‍රවල බල බිඳිය හැකිය. සර්ව දෝෂ විනාශ වේ යෑයි අප පැවසුවද ඇතැම් අවස්ථාවල සිදුකර ඇති බලවත් හදි හූනියං ජලනන්දන පිරිතෙන්ම පමණක් කපා දැමීම නොහැක. එවන් අවස්ථාවල “රන් කඟවේන දැහැන” වැනි මන්ත්‍රද භාවිතා කරන්නට සිදුවේ. මේ ලිපිය ලිවීමේ එක් බලාපොරොත්තුවක් නම් නොදැන අත්හදා බලන්නට “ජලනන්දන පිරිත” පමණක් නොව වෙනත් මන්ත්‍රද අත්හදා නොබලන ලෙස ඉල්ලා සිටීමය. මා හමුවන ඇතැමුන් දිනපතා මල් පහන් පූජාකොට ජලනන්දන පිරිතද කියවන බව පවසා ඇත. එය නුසුදුසුය. ජලනන්දන පිරිත නිවෙස්වල නිතර භාවිතා කළ යුතු, භාවිතා කිරීමට සුදුසු පිරිතක් නොවේ. සර්ව බන්ධන යනුවෙන් විවාහයටද මේ මගින් බාධා ඇති විය හැක. ප්‍රේම සබඳතා පවා දෙදරා යතැයි ඇතැම් ප්‍රදේශවල විශ්වාසයක් පවතී.
අනෙක් මන්ත්‍ර මෙන්, අනෙක් පිරිත් මෙන් නොව ජලනන්දන පිරිතේ ප්‍රතිඵල ඉක්මනින් ඇස් ඉදිරිපිටම දැකගත හැකිය. වෙනත් මන්ත්‍ර හා පුද පූජාවලින් දින තුනෙන්, හතෙන්, විසි එකෙන් ආදී වශයෙන් ප්‍රතිඵල ඇති බව පැවසුවද නිවැරැදිව ජලනන්දන පිරිත ජීවම් කිරීමෙන් ක්ෂණිකව ඒ අවස්ථාවේම ප්‍රතිඵල දැකගත හැකිය. “ආටානාටිය” දේශනා කරන විට අමනුෂ්‍ය දෝෂ ඇති අය ආවේශ වන්නාක් මෙන් ජලනන්දන පිරිත දේශනා කරන විට ඒ අවස්ථාවේම ප්‍රතිඵල දැකගත හැකි බව අත්දැකීමෙන්ම පැවසිය හැක. සත්‍යයි. අත්දුටුවයි.
ජලනන්දන පිරිතේ හාස්කම් දැකගන්නට නම් ඒ නිවැරැදිව උච්චාරණය කළ යුතුය. එසේම අප නොදන්නා දෙයක් දැනුවත් කිරීමද යුතුකමකි. මන්ත්‍රයක් ජීවම් කිරීමේදී විසිහත් වාරයක් (27) හෝ එකසියඅට වාරයක් (108) ජීවම් කළ යුතු යෑයි පැවසුවද ඊට හේතුව බොහෝ දෙනා නොදනී. විසිහත්වාරය යනු අපගේ නැකත් විසිහත නිසා ඊට අදාළ කරගැනීමයි. එකසිය අට යනු නැකැත් විසිහත සහ පාද හතරයි. එක් නැකතකට පාද හතරක් පවතී. එවිට 27 Ü 4 = 108 බවට පත්වේ. යන්ත්‍ර 108 වරක් ජීවම් කරන්නේ ඒ නිසාය. 54 යනු 27 Ü 2 වීමය. පනස් හතරට වඩා එකසිය අට වාරය ගුණ දේ.
ජලනන්දන පිරිතෙන් දෙහි, වැලි මෙන්ම තැඹිලි ජීවම් කරදීම සිදු වේ. පිරිසිදු රන්තැඹිලි තෙල් හෝ සුදු සඳුන් තෙල් ජලනන්දන පිරිතෙන් ජීවම් කොට ගෙල පැළඳ ගැනීමෙන් ඇතිවිය හැකි අමනුෂ්‍ය දෝෂ මෙන්ම අණවින වැදීමද සිදු නොවේ. තැඹිලි මතුරා බීමෙන් අපට සිදුකර ඇති දෝෂ හරණය වීමක් සිදුවේ. ඉනා කැවීම් ආදිය සිදුව ඇත්නම් ඒවා කැපී ඉවත් වේ. දෙහි මතුරා කැපීමෙන් සියලු දෝෂ බන්ධන කපාහැරීම සිදුකළ හැකිය. ජලනන්දනයෙන් මතුරා කැපී නොයන්නේ නම් ඒ සමඟ ඊට අදාළ වෙනත් මන්ත්‍ර උපයෝගී කොටගෙන දෝෂ කපා හැරීමට හැකිය. ඒත් අනෙක් මන්ත්‍ර ජීවම් කරන්නට පෙර ජලනන්දන පිරිත භාවිතා කිරීම අත්‍යවශ්‍යය. ජල නන්දන පිරිත අවම වශයෙන් 108 (එකසියඅට) වාරයක් ජීවම් කළ යුතු අතර දහස් වාරයක් (1000) ජීවම් කරන්නේ නම් වඩාත් ඉහළ ප්‍රතිඵල ලබාගත හැක.
නිවස කිළිකුණුවලින් තොර විය යුතුය. එසේම නිවසේ මස් මාංශ භාවිතාවෙන් වැළකිය යුතුය. අවශ්‍ය පුද පූජා තබා පිරිත් නිවැරැදිව ජිවම් කරන්න. නිවස ඇතුළත සිදු කරනවාට වඩා නිවසින් පිටත ජීවම් කිරීම වඩා සුදුසුය. ඒත් ප්‍රායෝගිකව වර්තමානයේ එවැනි ඉඩකඩ අඩු නිසා ජීවම් කරන ස්ථානයේ ඉහළට සුදු උඩුවියනක් බැඳීම වැදගත්ය. පලතුරු කැවිලි වර්ග, විවිධ වර්ණ මල්, සුවඳ කූරු, සුවඳ දුම් දල්වා මනාව සකසන ලද ස්ථානයක සිට පූජාව කළ යුතුය. එසේම පිරිත් අසන්නාත්, පිරිත් කියවන්නාත් අඩුම වශයෙන් සතියක සිටවත් මස් මාංශ අනුභවයෙන් තොරව සියලු කිළිකුණුවලින් වැළකී සිටීම වැදගත්ය. පහසුවෙන් සොයාගත හැකි නිසා ජලනන්දන පිරිත ඕනෑම අයෙකුට ජීවම් කළ හැකි යෑයි ඔබ සිතන්නේ නම් එය වැරැදිය.
නියමිත ලෙස ජීවම් කරන්නේ නම් පනස් හතර වාරය (54) ජීවම් කරන විට තැඹිලි ගෙඩි උතුරායැම ආරම්භ වේ. ඒ ජීවම් නොකඩවා 108 (එකසිය අට) වාරය සම්පූර්ණ කළේ නම් තැඹිලි ගෙඩිය උතුරා යනු ඇත. මේසය මත පිරිසිදු පැන් වීදුරුවක් තැබුයේ නම් එහිදී බුබුළු මතුවී ඇති බව පැහැදිලිව පෙනෙනු ඇත.
ජලනන්දන පිරිත නිසි ලෙස ජීවම් කොට දෙහි කපා නිවෙස්වල හෝ පුද්ගලයන්ට ඇති අණවින බන්ධන විනාශ කර දැමිය හැකි අතර තැඹිලි ගෙඩි මතුරා පානය කිරීමෙන් ශරීරය අභ්‍යන්තරයේ ඇති දෝෂ දුරුවේ. පස්තෙල් මතුරා ගෑමෙන් සිරුරේ ඇති වේදනා දුරුවේ. එසේම රන් තැඹිලි තෙල් හෝ සුදු සඳුන් තෙල් ජීවම් කොට ගෙල පැළඳීමෙන් ඉදිරියේ ඇතිවිය හැකි අමනුෂ්‍ය දෝෂ සහ අණවින බන්ධන ඇති නොවනු ඇත. ජලනන්දන පිරිතෙන් ජීවම් කරන ලද “ජලනන්දන යන්ත්‍රය” නිවසේ හෝ ඉඩමේ සතර කොනේ වළලා තැබීමෙන් “සර්ව දෝෂ විනාශ වේ” එසේම නොපෑගුණ වැලි හෝ මුහුදු වැලි මතුරා ගෙවත්තේ ඉසීමෙන් නිවසේ ආරක්ෂාව උදාකරයි. විකුණා ගැනීමට නොහැකි නිවාස, දේපළ විකුණා ගන්නටත්, නිතර නිතර රෝගී වන්නන් සිටින නිවසෙහි නිරෝගී සම්පත් උදා කරගන්නටත් ජලනන්දන යන්ත්‍රය වැදගත් වේ.
අන විණ – කොඩි විණ මට්ටුකරන ජලනන්දන යන්ත්‍රය
ජලනන්දන පිරිත යෑයි කිව් සැනින් බොහෝ දෙනා ඊට බියවෙති. එයට හේතුව නම් ජලනන්දන පිරිත නියමාකාරයෙන් ශබ්ද කර ගණ පිහිටුවා සඡ්Cධායනා කිරීමෙන් කෙනෙකුගේ අයහපත පිණිස සැකසූ යන්ත්‍ර මන්ත්රවල බලය සහ සියලු අනවිණ කොඩිවිණවල බලය බිඳී යාමය. එය සත්‍යයකි. එහෙත් කුමන ආකාරයකින්වත් බුදු ගුණ යන්ත්‍රයක හෝ ආරක්ෂාවක සත්‍ය බලය මෙකී පිරිතෙන් බිඳී නොයන බව ඉතා විශ්වාසයෙන් ප්‍රකාශ කළ හැක.
පිරිත් පිළිබඳව මනා වැටහීමක් නොමැති කම නිසාම බොහෝ අය ජලනන්දන පිරිත අශුභ වැඩකටයුතු සඳහා භාවිතා කරන පිරිතක් ලෙස සැලකීමට පුරුදු වී සිටින අතර එය නිවස තුළ සඡ්ජාධායනය කිරීමද අසුභ යෑයි යන මතයේ සිටිති. එය අනුවණ කමකි. ජලනන්දන පිරිතේ ඇති බලය පැරණි පොත පතෙහි මෙලෙස දැක්වේ.
මේකෙන් සියවර පස් තෙල් මතුරා
වෙහෙර පහන් ගොස් දල්වන්නේ
සීනෙන් විස්කම් දෙවියෝ ඇවිදින්
සිතූ දෙයකි සකි පවසන්නේ
එම වර බෝමුල පස්තෙල් මතුරා
නලල තිලක දී පලයන්නේ
සැමවර නඩුවෙන් ජයගන්නට හැක
මේ බව සිහියට අරගන්නේ
මෙම කවි පෙළේ තේරුම් දෙස බැලීමේදී මෙම පිරිතේ ඇති ගුණය බලවත් බව වටහා ගත හැකි අතර භාවිතා කිරීමෙන් ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලැබිය හැකි බව පැරණි පොතපතේ සඳහන් වේ. මෙම අති ප්‍රබල පිරිත ආශ්රයෙන් අපේ මුතුන් මිත්තන් ජලනන්දන යන්ත්‍රය නමින් යන්ත්‍රයක් ප්‍රස්තාර ගත කොට එම පිරිතෙන් 108 වරක් පිරිත් කර එදිනෙදා මුහුණපාන්නට සිදුවන කරදර බාධක වලින් මිදීමට භාවිතා කර ඇත.
ජන්මීන්ට බලපාන්නා වූ ජන්ම ඒරාෂ්ටක චන්ද්‍ර ඒරාෂ්ටක සියලු නවග්‍රහ දෝෂ මාරක බාධක මෙම යන්ත්‍රය පැළඳීමෙන් දුරු කරගත හැකිය. නඩු හබවලට ඉදිරිපත් වීමේදී පැළඳිය හොත් යුක්තිය දිනයි. පිරිසිදු සඳුන් තෙල් මෙම පිරිතෙන් 108 වරක් පිරිත් කර නලලේ ආලේපයෙන් සර්ව ජන වශීය හා ශ්‍රියාව ඇති වේ.
නිවාස වලට බලපාන්නාවූ යක්ෂ, ප්‍රේත භූත වැනි සියලු අමනුෂ්‍ය දෝස හා සතුරන්ගෙන් ඇති වන අන වින බන්ධන දෝෂ සඳහා ගල්, වැලි 108 වරක් මතුරා වැලි ගෙවන්තේ ඉසීමෙන් හා ගල් මුට්ටිවල දමා හතරකොණ වළලා ගැනීම බලගතු ආරක්ෂාවකි.
ශරීරවලට බලපාන්නා වූ විවිධ අමනුෂ්‍ය දෝෂ, සතුරන්ගෙන් එල්ල වන සතුරු කරදර ලෙඩ රෝග, ඇස්වහ කටවහ දෝෂ ආදී සියලු කරදර වලින් මිදීමට දෙහි ගෙඩි 7 ක් මෙම පිරිතෙන් පිරිත් කර කපාගත් කල සියලු දෝෂයන් සමනය වේ.
මෙම යන්ත්‍රය නිසි ලෙස සකස්කොට නිවසේ තබා පුද පූජා පැවැත්වීමෙන් හා නිසිලෙස වතාවත් ඉටු කිරීමෙන් සොරසතුරු උවදුරු වැළකේ. සර්පයන්ගෙන් සිදුවන විපත් දුරුවේ. සතුරන් මෙල්ලවේ. ගෙදර දොර සමගිය, දියුණුව, ශ්‍රියාව ඇතිවේ. කර පළඳින අයද දුස්චරිතයෙන් වැළකිය යුතුය.
නව නිවාස ඉදි කරන්නන් අත්තිවාරමේ ගල් බැඳීමට පෙර නොපෑගුන ගල්වැලි ගෙන පිරිත්කර හෝ දැහැනෙන් 108 වරක් ජීවම් කර එම කටයුතු සිදු කිරීමෙන් සියලු බාධක මැඩ පවත්වා නිවසේ වැඩ කටයුතු කඩිනමින් සිදු වන අතර එම ආරක්ෂාව එකී නිවස තිබෙනතුරු පවතී.
මෙම සියලු කටයුතු කරුණු කාරණා හරි හැටි දැන ගෙන හරියාකාරව සිදු කර ගත යුතු අතර පිරිත් කර ගැනීම ජීවම් කර ගැනීම යන්ත්‍ර මන්ත්‍ර කටයුතු පිළිබඳව නිසි දැනුමක් ඇති නිර්මාංශ, පුරා සූදුවෙන් තොර සිල්වත් අයකු ලවාම මෙම කටයුතු සිදු කර ගැනීමට වගබලා නොගැනීම තුළින් නැති කරදරවලට මුහුණ පෑමට සිදු විය හැකිය. එබැවින් ඒ පිළිබඳව නිසි අවධානය යොමු කිරීමට කල්පනාකාරී වන්න.
ජලනන්දන පිරිත
චතු වීසති බුද්ධෝති
යෝ භවිස්සති උත්තමං
පාරමී බලපුත්තෙහි
ජලනන්දන මුත්තමං
අනෝමානී ජලං තීරේ
උත්තමං පත්තචීවරං
පාරමී තෙ ජලං හෝති
සර්ව බන්Jධන ඡේදනං
ආනන්දෝති මහාථෙරං
උත්තමං ධම්ම භාණ්ඩකං
යේන භික්ඛු මහාථෙරං
සයනේ බන්ධන විදවංසනං
ඉති ශ්‍රී ලෝක බුදෙධහි
යේන ධම්මානු භාවතෝ
යන්ත්‍ර මන්ත්‍ර හරංකත්වා
විනාසං බුද්ධානුභාවතෝ
මුනින්දෝ හෝති නමෝ බුද්ධං
මාර සේනා පමද්ධති
දසකෝටි සහස්සානි
සර්වබන්ධන ඡේදනං
පාරමිතා ගුණා හොන්තී
සො භවිස්සති උත්තමං
අනෙකජාති සංසාරං
සහස්සං ධම්මානුභාවතෝ
සයානෝවා සහස්සානි
උත්තමං ගුණ පුග්ගලං
අසීතිං යේන සබෙබ පී
සබ්බසිද්ධි භවත්තු මේ
නිධන්ගත තඹ පත් ඉරුවකින් උපුටා ගන්නා ලද ජලනන්දන දැහැන
1. නමාමි ජින සත්ථාරං – අට්ඨ වීසති නායකං
තිරස පාරමී පූරෙන්තං – බෝධි මූලේ නිසීදනං
2. පංචමාර විධංසෙත්වා – බෝධි මූලේ නිසීදනං
සච්චභාව සකාසෙන්තෝ – ජලනන්දන නාමකං
3. දේව දේවාති සම්බුද්ධං – ආනුභාව මහප්ඵලං
අනන්ත ජින නාමේන – සබ්බ බන්ධන ඡේදනං
4. ගෝතමෝ සක්ය පුත්තේසි – ජල නන්දන සෝභනං
දේසිතං ධම්මානුභාවේන – සබ්බ බන්ධන ඡේදනං
5. සාරිපුත්තෝච ආනන්ද – මොග්ගල්ලෝනෝච සීවලී
සාවකත්තං මුනිං පත්වා – අරිය සංඝ මලං යසං
6. තස්සාභාවං සබ්බන්ථ – ජල නන්දන ඡේදනං
සබ්බ වින විනස්සත්තු – සිද්ධි භාග්‍ය කරං හිතං
7. සබ්බු පද්දව රෝගානී – යක්ඛ භූත භායානපි
විනස්සෙන්තු විසේසේන – සදා සිද්ධි භවන්තු මේ
(අනුන්ට කියන කල අග පදයේ “මේ” යන්න “තේ” කියා යොදන්න)
දේශමාන්‍ය, දේශබන්ධු ජ්‍යෙdතිෂ්යවේදී –
රන්ජන් සිසිර කුමාර
රන්ජන් සිසිර කුමාර