බාරහාර වෙලා හරිගියාට පස්සේ බාරේ ඔප්පු කරන්න ඕනේ ඇයි?


 

බාරහාර වෙලා හරිගියාට පස්සේ බාරේ ඔප්පු කරන්න ඕනේ ඇයි?

හලාවත, මුන්නේශ්වරම්, අයියනායක දේවාල පාරේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍රසාමි පවසන්නේ මෑණියන්ගේ සරණ පතා එන බැතිමතුන්ට ඇය පිහිට වන්නේ සිතා ගන්නටත් බැරි අන්දමට බවය. මෑණියන්ගේ පාමුල වැටී යාතිකා කොට තම කන්නලව්ව ඉදිරිපත් කර ආපසු යන ඇතැම් බැතිමතුන් සති දෙකෙන් තුනෙන් සිනාමුසු මුහුණෙන් ආපසු එන්නේ කලින් තමන් වූ බාර හාර ඔප්පු කිරීමටය. ඒ තමන්ගේ ගැටලුව, කරදර නිමා වී ඇති නිසාය. එසේ පැමිණෙන ඔවුහු තමන් බාර වූවාටත් වඩා පඬුරු රැගෙන විත් මෑණියන් පුදති.
“අනේ සාමි, අපිට වෙව්ච කරදරය, දුක මෑණියන්ගේ පිහිටෙන් නැති වුණා. මෑණියන් අපේ මුහුණ බැලුවා. අපි ආවේ එදා වෙච්ච බාර ඔප්පු කරන්නයි” කියමින් ඔවුන් කෝවිලට පැමිණෙන බව මහේන්ද්‍රසාමි කීය.
“එහෙම අවස්ථා බොහෝමයක්ම තියෙනවා. මෑණියන්ගේ හාස්කම් නිසා තමයි එහෙම වෙන්නේ සමහර සිද්ධි ගැන නම් මටත් පුදුමයි. සමහර අය ඇවිත් කියනවා “අපි හැම තැනම ගියා. බාරහාර වුණා. ඒත් ප්‍රතිඵලයක් වුණේ නැහැ. මේ කෝවිලට ඇවිත් බාර වුණාමයි ප්‍රතිඵලයක් ලැබුණේ” කියලා. එහෙම කතා ඇහුවම මට හරි සතුටුයි. මේ ශුද්ධ භූමියට ශ්‍රී භද්‍ර කාලි මෑණියන්ගේ බැල්ම අඩු නැතුව ලැබෙනවා කියලා මම හිත හදා ගන්නවා” යැයි මහේන්ද්‍ර සාමි මෑණියන්ගේ පිළිරුවට ‍ෙදාහොත් මුදුන් දී වැඳ නමස්කාර කරමින් කීය.

“මීට මාස හය හතකට ඉස්සෙල්ලා අම්මා කෙනකුයි තරුණ දුවකුයි ආවා කෝවිලට. ඒ අය ඇවිත් කිව්වා දුව හොඳට අධ්‍යාපනය ලබලා තිබුණත් තවම රැකියාවක් නෑ කියලා. සම්මුඛ පරීක්ෂණ බොහොමයකට ගියත් කිසිම හොඳ ප්‍රතිඵලයක් ලැබුණේ නැතිලු. කරන්න කිසිම දෙයක් නැති තැනයි ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලට ඇවිත් තියෙන්නේ.
මට විස්තරේ කිව්වම මෑණියන්ට කන්නලව් කරලා, මන්තර ජප කරලා, දෙහි කපලා පූපෝපහාර විධි අකුරටම ඉෂ්ට කළා. ඒ අය කෝවිලෙන් ගියේ මහත් බලාපොරොත්තු තබා ගෙනයි. සති දෙකක්වත් ගියේ නෑලු හොඳ වැටුපක් එක්ක අර දුවට රට රැකියාවක් ලැබිලා තියෙනවා. මේ නිසා ගෙදර තියෙන ආර්ථික ප්‍රශ්න, ගැටලු විසඳිලා තියෙනවා. ඒත් මේ අයට මැණියන්ට වෙච්ච බාර හාර අමතක වෙලා. අර අම්මාට සිහිනෙන් මේ බව අඟවලා තියෙනවා. මේ නිසා අම්මා වරින්වර නින්දෙන් ඇහැරෙනවා.එතකොට තමයි අම්මට මතක් වුණේ එදා ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා කෝවිලට ඇවිත් වෙච්ච බාරය ගැන. ඉතින් රට ඉන්න දුවට මේ බව වරින්වර දැනුම් දුන්නා. එයා ඒක ගණනකටවත් ගත්තේ නැතිලු. එක දවසක් දුව හදිසියෙන්ම ගෙදර ඇවිල්ලා තියෙනවා. එයා ඇවිත් තියෙන්නේ මාසයකට නිවාඩු අරන්.
දැන් එයාට රැකියාවේ හරි කරදරලු. හරිම ප්‍රශ්නලු. හැම අතින්ම දෝෂාරෝපණ එල්ල වෙනවලු. මානසික විවේකයක් ගන්න ඕනෑ නිසා මාසයක නිවාඩු අනුමත කරගෙනයි ගෙදර ඇවිත් තියෙන්නේ. එතකොට අම්මා දුවට හොඳටම ‍ෙදාස් කිව්වා මෑණියන්ට වෙච්ච බාර ඔප්පු නොකරපු එක ගැන. එතකොට තමයි ඒ දුවට වැටහුණේ උදාවෙලා තිබෙන තත්ත්වයේ බැරෑරුම්කම. ඒ අය ඉක්මනින්ම කෝවිලට ඇවිත් මට විස්තරේ කිව්වා. වෙච්ච වැරැද්දට මෑණියන්ගෙන් සමාව ගන්න කියලා අම්මටයි දුවටයි මම කිව්වා. ඒ අයට සමාව දෙන්නැයි ඉල්ලා මමත් කන්නලව් කළා. පූජෝපහාර දුන්නා. ආයෙත් මෙවැනි වැරැද්දක් කරන්නේ නෑ කියලා ඒ අය මෑණියන් ඉදිරියේ සහතික වුණා. ඒ අය ආපසු ගියේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා මෑණියන් වෙනුවෙන් ඉදිවෙන නව කෝවිලට සැලකිය යුතු මුදලක්ද පරිත්‍යාග කරලයි. ඉඩ ලද හැම වෙලාවකම කෝවිලට එන බවට ඒ අය පොරොන්දු වුණා.

දැන් දුවගේ රැකියාවේ තිබුණු අර්බුදකාරි තත්ත්වය විසඳිලා එයාට උසස්වීමක් ලැබිලා තියෙනවා කියලා ඒ අම්මා කෝවිලට ආපු වෙලාවක මට කිව්වේ බොහෝම භක්තියෙන්.
අන්න ඒක තමයි මම කිව්වේ මෑණියන්ගේ අනුහස් ගැන මටත් හිතා ගන්න බැහැ කියලා. සමහර අයට ඉක්මනින්ම පිහිට වෙනවා. සමහර අයට පිහිට දෙන්නේ තරමක් ප්‍රමාද කරලා. සමහර අයට පිහිට ලැබෙන්නෙම නෑ. එහෙම වෙන්නත් හේතු තියෙනවා. පසු ලිපියකින් අපි ඒ ගැන විස්තර කතා කරමු” මහේන්ද්‍රසාමි කීය.
නන්දන තෙන්නකෝන්

සන්ධි ඉදිමුමට සේර හොදයි

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රස...